"ගාසා ඝාතන වලින් 70%ක් ම දරුවන් සහ කාන්තාවන්!"- OHCHR හෙළිදරවුව
(Bනිව්ස්, 2024 නොවැම්බර් 09) ගාසා යුද්ධයේදී සිදු කළ කෲර මිනිස් ඝාතන පිළිබඳ ලෝකයම කම්පාවට පත් කළ වාර්තාවක්, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉකුත් දා එළි දැක්වූවා. මේ වසරේ අප්‍රේල් 30 වන දා වන තුරු, හය මසක කාලයක් තුළ රැස් කරන ලද දත්ත මත මෙම සංඛ්‍යා ලේඛන පදනම් වී තිබෙනවා.
යුද්ධයේ පළමු ගොදුර දරුවන් සහ කාන්තාවන් යන කියමන යළි යළිත් සනාථ කරමින්, මේ යුද්ධයෙන් ඝාතනය වූවන්ගෙන් 70%ක සුවිසල් බහුතරය, දරුවන් සහ කාන්තාවන් බව එම වාර්තාවෙන් පැවසෙනවා. දරුවන්ගේ පමණක් මරණ ප්‍රතිශතය 44%ක්. මොවුන් අතරින්, ඝාතනය වූ ලාබාලතමයා එක දිනක් වයසැති බිළිඳෙකු වූ අතර වයස්ගතම පුද්ගලයා 97 වියැති කාන්තාවක්. මිය ගිය අය අතුරින් 88%ක් මිය ගොස් ඇත්තේ, ගොඩනැගිලි තුළ සිටියදී බව ද මෙම වාර්තාව හෙළි කරනවා.
ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, නොවැම්බර් 8 වන දා වන විට, අවම වශයෙන් පලස්තීනුවන් 43,508 ක් මිය ගොස් 102,684 ක් තුවාල ලබා තිබෙනවා. මීට අමතරව, ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 3,117ක් මිය ගොස් 13,888ක් තුවාල ලබා තිබෙනවා.
ගාසාවේ මිලියන 2.142ක් වූ මුළු ජනගහණයෙන් 43,000ක් ඝාතනය වී තිබෙනවා. මෙය සමස්ත ජනගහණයෙන් 2%ක්. යුද්ධය ඇරඹී දින 400ක් ගෙවෙන නොවැම්බර් 09 වන දා විට, මෙය දිනකට ඝාතන 110කට ආසන්න සාමාන්‍ය අගයක්. එනම් ආසන්න වශයෙන් පැයකට මිනිස් ඝාතන 5ක්.
යුරෝ-මෙඩ් මානව හිමිකම් නිරීක්ෂකයින් විසින් ඉකුත් ජූලි මස එළි දැක්වූ වාර්තාවකට අනුව, ගාසාවේ සමස්ත ජනගහණයෙන් 10%ක් පමණ මේ වන විටත් ඝාතනය වී හෝ තුවාල ලබා හෝ අතුරුදහන් වී තිබෙනවා.
[Image- Omar al-Qattaa, AFP]

Comments
Post a Comment