සින්වාර්ගේ අවසානය සමග ඊශ්‍රායල පළිගැනීමේ මෙහෙයුම නිමාවේද?
(Bනිව්ස්, 2024 ඔක්තෝබර් 20) ඊශ්‍රායලය යහියා සින්වා(ර්) ඝාතනය කළේ කොහොමද? මොසාර්ඩ් එකෙන් කරපු මැජික් එකකින්ද? ඊශ්‍රායල් හමුදා භාවිතා කරන අධි තාක්ෂණික යුධෝපක්‍රමයකින්ද? සියල්ලන් පුදුමයට පත් කළ පිළිතුර වුනේ "නැත" යන්නයි. එය හුදෙක් වාසනාව මුල් කොට ගත් අහම්බයක්!
හිට්ලර්ගේ මහා ජනසංහාරයෙන් පසු, එකවර වැඩිම යුදෙව්වන් ප්‍රමාණයක් ඝාතනය කරමින් ඉකුත් වසරේ ඔක්තෝම්බර් 07 වන දා එල්ල කළ හමාස් ප්‍රහාරයේ මහමොළකරු ලෙස නම් කෙරුණේ සින්වාර්ව. එනිසා, සින්වාර් දඩයම ගාසා යුධ න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබූ අංකයක්. එහෙත් ඒ දඩයම ඉකුත් 16 වන දා ඉටු වන මොහොත වන විට, සමස්ත ගාසාවම බිමට සමතලා කොට පලස්තීන සිවිල් වැසියන් 42,000ක් මරා දමා අවසන්.
වසරක් පුරාවටම ඉශ්‍රායල් හමුදාව සින්වාර් සැඟව සිටි ස්ථානය සොයා ගැනීමට සමත් වුනේ නැහැ. දකුනු ගාසාවේ රෆා ප්‍රදේශයේ ඔහු සිටි බවට ඔවුන් සතු තොරතුරු තිබූ නමුත් වර්ග කිමී 64 ක් වූ, මිලියනයක ජනතාවක් පොදිකමින් සිටින එම ප්‍රදේශයේ මෙහෙයුමකින් සින්වාර් සොයාගැනීම කිසිසේත්ම පහසු වුනේ නැහැ.
බදාදා 16 වන දා ටාල් අල් සුල්තාන් නම් පෙදෙසේදී ඊශ්‍රායල් හමුදා භටයින් සහ අහඹු ලෙස නිරීක්ෂණය වූ හමාස් සටන්කාමීන් තිදෙනෙකු අතර සටනක් ඇති වුනා. මේ තුන්දෙනාගෙන් එක් අයෙක් සින්වාර්. සටන අතරේදී ගොඩනැගිල්ලක් තුළට වැදුණු සින්වාර් ඝාතනය වෙනවා. ඩ්‍රෝන යොදා රූ ගත කළ එම අවසන් මොහොතේ දර්ශන මේ වන විට ලෝකයම නරඹා අවසන්. මළසිරුර හඳුනාගැනෙන්නේ පසුදින. එහිදී සින්වාර්ගේ සිරුරේ ඇඟිල්ලක් කපා අනන්‍යතාව සහතික කිරීමට ඊශ්‍රායලයට යවා තිබෙනවා. එමගින් ඉශ්‍රායලයේ නොම්මර එකේ හතුරා ඝාතනය කළ බව සහතික වෙනවා. පසුව ඔහුගේ සිරුර ඊශ්‍රායලයට ගෙන යනවා.
සින්වාර්ගේ ඩී.එන්.ඒ. එතරම් පහසුවෙන් සහතික කළ හැකි වුනේ කොහොමද? සින්වාර් වසර 30ක් ගත කළේ ඊශ්‍රායල් සිරකරුවෙකු ලෙස. ඒ 1980 සිට 2011 දක්වා. මේ කාලයේ ඔහු මොළයේ ඇති වූ ගෙඩියකට ප්‍රතිකාර ලබා තිබෙන නිසා ඊශ්‍රායලය සතුව සින්වාර්ගේ සියලු ජීව විද්‍යාත්මක දත්ත තිබීම පුදුමයක් නොවෙයි.
මාධ්‍ය මගින් සින්වාර් සමබන්ධයෙන් වපුරා තිබූ මිත්‍යා කිහිපයක්ම මේ මරණයක් සමග බිඳ වැටෙනවා. ඉශ්‍රායලයෙන් අල්ලාගෙන ආ ප්‍රාණ ඇපකරුවන් මිනිස් පළිහක් ලෙස සින්වාර් වටා රඳවා සිටි බවටත්, ඔහු වටා විශාල ආරක්ෂක වළලක් ඇති බවටත් වූ පුවත් ඊට උදාහරණ. මරණ මොහොතේ ඔහු සමග සිටියේ ශරීරාරක්ෂක හමාස් සටන්කරුවන් දෙදෙනෙක් පමණයි. එමෙන්ම ඔහු ඊශ්‍රායල් බුද්ධි අංශවලට නිරාවරණය විය හැකි කිසිදු තාක්ෂණික මෙවලමක් භාවිතා කොට නැහැ. ඊශ්‍රායල් හමුදා සමග කට්ටි පනිමින් වසරක් නොනැසී ජීවත් වීමට ඔහු සමත්ව ඇත්තේ ඒ නිසයි.
ඊළඟට සිදු වන්නේ කුමක්ද? ඊශ්‍රායල පළිගැනීමේ මෙහෙයුම නිමාවේද? යුධ අපරාධ කිරිම සඳහා ඇමරිකාව විසින් දෙන ලද විවෘත බලපත්‍රයක් අතැතිව සිටින නෙතන්යාහුගේ මීළඟ ඉලක්කය කුමක්ද?
මුලු ලෝකයේම ඇස් මැද පෙරදිග දෙසට හැරී තිබෙනවා.
Sources- Firstpost / AlJazeera
[මෙම පුවත වීඩියෝවක් ලෙස නරඹන්න►]

Comments
Post a Comment